ඕෂදී රණසිංහගේ දක්ෂ පන්දු යවීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජය පහසු කරයි.

    2023-05-05 18:32   |    Views : 64

ඕෂදී රණසිංහගේ 5/34 දක්ෂ පන්දු යැවීමත් චමරි අතපත්තුගේ (64) පිතිහරඹයත් සමගින් තරග 03 කින් සමන්විත එක්දින තරගාවලියේ බංග්ලාදේශ එරෙහිව ඊයේ පැවති තෙවන එක්දින තරගය ලකුණු 58 ජය ගැනීමත් සමගින් තරගාවලිය 1-0 ලෙසට ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.මෙහි පළමු තරග දෙක අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් තීරණයකින් තොරව අවසන් විය.

උදෑසන කාලයේ ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තෙවන එක්දින තරගය පන්දුවාර 30 කට සීමා විය.එහිදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලෙහි ආරම්භක කඩුල්ලට (ලකුණු 50 පන්දුවාර 10.2) සබඳතාවයක් පැවැත්වුහ.පළමුව දැවීගිය විශ්මි ගුණරත්නගෙන් (16) අනතුරුව පිටියට පිවිසි හර්ෂිත සමරවික්‍රම (45) සමගින් චමරි අතපත්තු ලකුණු පුවරුව 103 ක් ඔසවා තැබීය.එම අවස්ථාවේ චමරි අතපත්තු දැවීයන විට හයේ පහර හතරක්ද හතරේ පහර හයක් සමගින් පන්දු 60 කදී ලකුණු 64 ක් රැස් කළේය.

ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත්ව පන්දු 15 කින් ලකුණු 25 රැස්කල කවිෂා දිල්හාරිගේ ඉනිමත් සමගින් සත්කාරක පිල කඩුලු 05 කට පන්දුවාර 30 අවසානයේ ලකුණු 186 ක් රැස් කිරීමට සමත් විය.

හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශ පිලට එරෙහිව සාර්ථක පන්දු යැවීමක නිරත වු ඕෂදී රණසිංහ (5/34) ලෙසට තම පන්දුයැවීම සනිටුහන් කරන ලදි.පිතිකරණයේදී නායිකා නිගාර් සුල්තානා (37) සහ ෆර්ගානා හෝක් (24) දක්ෂතා දැක්වුහ.කෙසේ නමුත් පන්දුවාර 29.5 කදී ලකුණු 128 කට සියලුම දෙනා දැවී ගියහ.

Share on Facebook Share on WhatsApp Share on Viber