ආසියානු ක්‍රිකට් සභාව විසින් සංවිධානය කරන නැඟීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන තරගාවලියට නම්කරන ලද ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ නායකත්වය නුවනිදු ප්‍රනාන්දුට හිමිව ඇත.
ඕමානයේ මස්කට් නුවරදී මේ මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම අද (15 වැනිදා) තරගාවලිය සඳහා ඕමානය බලා පිටත්ව යනු ඇත.
රටවල් 8 ක සහභාගීත්වයෙන් කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඒ‘ කාණ්ඩයෙන් තරග වදිනු ඇත. ඊට ඇෆ්ඝනිස්තාන් ‘ඒ‘, බංග්ලාදේශ ‘ඒ‘ සහ හොං කොං කණ්ඩායම් එක් වෙති.
ඉන්දියා ‘ඒ‘, පාකිස්තාන් ‘ඒ‘, එක්සත් අරාබී එමීර් රාජ්‍යය සහ ඕමාන කණ්ඩායම් ‘බී‘ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.
මූලික වටයේ තරග අවසානයේ පුසාද ලකුණු සටහනට අනුව ඒ ඒ කාණ්ඩයන්හී පළමු සහ දෙවැනි කණ්ඩායම් දෙක මේ මස 25 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනු ඇත. අවසන් මහා තරගය 27 වැනිදා පැවැත්වේ.
ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම
නුවනිදු ප්‍රනාන්දු (නායක), ළහිරු උදාර, යශෝධ ලංකා, ලසිත් කෘස්පුල්ලේ, සහන් ආරච්චිගේ, පවන් රත්නායක, අහන් වික්‍රමසිංහ, දිනුර කළුපහන්, කවිඳු නදීෂාන්, රමේෂ් මෙන්ඩිස්, දුෂාන් හේමන්ත, නිමේෂ් විමුක්ති, නිපුන් රංසික, ඉසිත විජේසුන්දර, ඒෂාන් මාලිංග.