තහනම ඉවතට, ජයසූරිය නැවත කරලියට

    2020-11-04 11:27   |    Views : 381

By ජගත් ප්‍රේමචන්ද්‍ර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය විසින් පනවා තිබු වසර දෙකක ක්‍රිකට් තහනම ඉවත් කර ඇතැයි ඒ මහතා නිවේදනය කර ඇත.

2019 පෙබරවාරි මාසයේ 26 වැනිදා සිට වසර දෙකක කාලයකට ජයසූරිය මහතාට දඬුවම් පැනවූයේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය මගින් තරග පාවාදීම් සිද්ධියක් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලට සහයෝගය නොදැක්වීම සහ එකී පරීක්ෂණවලට බාධා කිරීම යන චෝදනා එල්ල කරමිනි. ඒ අනුව ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම ආකාරයේ කටයුතු සඳහා සහභාගීත්වය තහනම් කෙරුණි.

ජයසූරිය මහතා සිය සමාජ මාධ්‍ය ජාලා හරහා නොවැම්බර් මස 3 වැනිදා නිකුත් කළ නිවේදනයෙන් වැඩි දුරටත් දැක්වෙන්නේ තමන්ට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට අවස්ථාව හිමිවීම පිළිබඳ සතුට ට පත්වන බවයි. එමෙන් ම තමන් ක්‍රිකට් ක්‍රීඩාවේ දී සෑම විට ම අවංකභාවයෙන් කටයුතු කළ බවත්, සෑම විට ම රට වෙනුවෙන් කැප වූ බවත් ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි දක්ෂතා දැක් වූ සනත් ජයසූරිය 1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ සාමාජිකයෙක් වූ අතර 2014 විස්සයි විස්ස ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපතිවරයා ද වුයේ ය.

Share on Facebook Share on WhatsApp Share on Viber