SLCS
අපෝන්සු නොඑන ගමන් යයි

අපෝන්සු නොඑන ගමන් යයි

ක්‍රිකට් ක්‍රීඩකයෙක්, පුහුණුකරුවෙක් සහ ක්‍රීඩාංගණ භාර නිලධාරියෙක් ලෙසින් කා අතරත් හොඳ හිත දිනාගත් ජයලත් අපෝන්සු මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය.

මිය යන විට 68 වැනි වියේ පසු වූ ජයලත් මහතා කොළඹ මහ නගර සභාවේ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ද වේ.

ඔහු වේල්ස් කුමාර විද්‍යාලයේ සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් පාසල් කාලයේ ක්‍රිකට් පිටියේ රැදී සිටි අතර ඉන් අනතුරුව මොරටුව ක්‍රීඩා සමාජය, නොමෑඩ්ස් ක්‍රිකට් සමාජය සහ කොළඹ මහ නගර සභා ක්‍රීඩා සමාජය යන කණ්ඩායම්වල ප්‍රබල සාමාජිකයෙක් විය.

කලක් කොළඹ සුප්‍රසිද්ධ තුරඟ තරග පිටිය, කොළඹ මහ නගර සභා ක්‍රීඩාංගණය හෙවත් නොමෑඩ්ස් ක්‍රීඩාංගණය භාරව සිටි අපෝන්සු මහතා අවසන් කාලයේ මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය ද භාරව කටයුතු කළේ ය.

පුහුණුකරුවෙක් ලෙසින් ද ක්‍රිකට් ක්‍රීඩකයන් රාශියක් මෙරට ට හඳුන්වා දුන් අපෝන්සු මහතා 2018 ශ්‍රවණාබාධිත ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ද කටයුතු කළේ ය.

නැසීගිය අපෝන්සු මහතාගේ නිසල දේහය මොරටුව, රාවතාවත්ත, පොල්කොටුවේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (30දා) රත්මලාන රාවතාවත්ත පොදු සුසාන භූමියේ දී සවස 6.00ට සිදු කෙරේ.

ලකුණු සටහන්කරුවන් සමඟ ද සමිපව ඇසුරු කළ “හිත හොඳ මිනිසෙක්” වු ජයලත් අපෝන්සු මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ සාතිශය සංවේගය ප්‍රකාශ කරමු.