කොදෙව් පන්දු යවන්නන්ට පහර පිට පහරදුන් කුසල් මෙන්ඩිස් (නොදැවී 68) සහ කුසල් ජනිත් පෙරේරා (නොදැවී 55), ද්විපාර්ශ්වික විස්සයි20 තරඟාවලියකදී ප්‍රථම වරට බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කරමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් හිමිකර දීමට සමත්වූහ. ඒ අනුව දඹුල්ලේදී පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව පන්දු 12 ක් ඉතිරිව තිබියදීම කඩුලු 9 ක් ඇතැතිව ජයගහණය තහවුරු කරගැනීමට සමත්විය.
වේගවත් ආරම්භයක් ලබාගත් පැතුම් නිස්සංක, කුඩකේෂ් මෝටීගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 39 ක් ලබාගැනීමට සමත්විය. ඒ අනුව කුසල් මෙන්ඩිස් සමගින් පළමු කඩුල්ල සඳහා පන්දු 32 කදී ලකුණු 60 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද පැතුම් සමත්විය.
ඓතිහාසික ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමේ බර කරට ගත් කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා දෙවැනි කඩුල්ල සඳහා පන්දු 76 කදී ලකුණු 106 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූහ.
කුසල් මෙන්ඩිස් පන්දු 50 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 68 ක් ලබාගත් අතර කුසල් ජනිත් පෙරේරා පන්දු 36 කදී හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 55 ක් ලබාගැනීමට සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිතිකරුවන් ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 162 ක් රැස් කිරීමට සමත්විය. ශ්‍රී ලංකා දගපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පළමු ඕවර 6 තුළදී කඩුලු 2 ක් දැවී කොදෙව් පිතිකරුවන්ට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 42 ක් පමණී. නමුත් මැද පෙළ පිතිකරුවන් වූ රොව්මන් පවෙල් සහ කුඩකේෂ් මොටීගේ පිතිහරඹය හමුවේ ලකුණු 162 ක් කරා කොදෙව් පිල රැගෙන යාමට හැකි විය.
රොව්මන් පවෙල් පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 37 ක් ද, කුඩකේෂ් මොටී පන්දු 15 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 32 ක් ලබාගත්තේය.
මහේෂ් තීක්ෂණ ලකුණු 19 කට කඩුලු 2 ක් සහ වනිඳු හසරංග ලකුණු 24 කට කඩුලු 2 ක් ද දවාගැනීමට සමත්වූහ.
තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස්ට හිමිවන විට තරගාවලියේ වීරයා සම්මානය පැතුම් නිශ්ශංකට හිමිවිය.
බ.ඉ.කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 162
(රොව්මන් පවෙල් 37, කුඩකේෂ් මොටී 32, මහේෂ් තීක්ෂණ 19/2, වනිඳු හසරංග 24/2)
ශ්‍රී ලංකාව - ඕවර 18 කදී කඩුල්ලක් දැවී 166
(පැතුම් නිශ්ශංක 39, කුසල් මෙන්ඩිස් නොදැවී 68, කුසල් ජනිත් නොදැවී 55)