නැඟී එන කණ්ඩායම් ආසියානු කුසළාන ඇෆ්ඝනිස්තානයට

    2024-10-28 23:54   |    Views : 155

මොහොමඩ් ඝසන්ෆාර්ගේ (14/2) සහ බිලාල් සාමිගේ (22/3) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ආසියානු ක්‍රිකට් සභාව විසින් සංවිධානය කළ නැඟී එන කණ්ඩායම් අතර විස්සයි20 ආසියානු කුසළාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන ‘ඒ‘ පිල ඊයේ (27 වැනිදා) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 134 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්තානය තවත් පන්දු 11 ක් තිබියදීම කඩුලු 7 කින් තරගය අවසන් කිරීමට සමත්විය.

සහන් ආරච්චිගේ යවන ලද පළමු ඕවරයේ පළමු පන්දුවෙන්ම ආරම්භක පිතිකරු සුබයිඩ් අක්බාරී දවාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ බලාපොරොත්තු ඉහළ නැංවීමට සමත්වුවද සෙසු පිතිකරුවෝ තරගයේ පාළනය තමන්ගෙන් ගිලිහී නොයෑමට වග බලා ගත්හ.

සෙදිකුල්ලා අටාල් පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 55 ක් ද, දර්විෂ් රසූලී පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 24 ක් ද, කරීම් ජැනට් පන්දු 57 කදී හයේ පහර 3ක් සමගින් ලකුණු 33 ක් සහ මොහොමඩ් ඉෂාක් පන්දු 6 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 16 ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට ඕවර 20 අවසානයේ රැස් කිරීමට හැකිවූයේ ලකුණු 133 ක් පමණී.

මුල් පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 15 ක් තුළ පිටියෙන් ඉවත් කළ මොහොමඩ් ඝසන්ෆාර් සහ බිලාල් සාමි ඇෆ්ඝනිස්තාන පිලට ජයග්‍රහණයේ මාවත විවර කර දීමට සමත්වූහ.

පවන් රත්නායක සමගින් එක්ව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 46 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සහන් ආරච්චිගේ ඉන් නොනැවතී 6 වැනි කඩුල්ල සඳහා ද නිමේෂ් විමුක්ති සමගින් එක්ව පන්දු 32 කදී ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නමුත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොවීය.

පවන් රත්නායක පන්දු 21 කදී හයේ පහරක් සමගින් ලකුණු 20 ක් ද, සහන් ආරච්චිගේ පන්දු 47 කදී හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 64 ක් සහ නිමේෂ් විමුක්ති පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 23 ක් ලබාගැනීමට සමත්වූහ.

සිය ඕවර 4 ලකූණු 14 කට අවසන් කළ මොහොමඩ් ඝසන්ෆාර්ගේ කඩුලු 2 ක් සහ බිලාල් සාමි ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගනිමින් ඇෆ්ඝනිස්තාන ‘ඒ‘ පිල ශූරතාව කරා රැගෙන යාමට සමත්වූහ.

මොහොමඩ් ඝසන්ෆාර් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගන්නා විට සෙදිකුල්ලා අටාල් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය.

Share on Facebook Share on WhatsApp Share on Viber